ඩෙංගු රෝගය තුරන් කරන්න කියුබා දැනුම

ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා කියුබානු සෞඛ්‍ය අංශවල විශේෂඥ දැනුම ලබාගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති එච්.ඊ. ඇන්ඩ්‍ර මාර්කෙලෝ ගොන්සාලිස් මහතා සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් ද පවත්වා තිබෙනවා.

එහිදී ඩෙංගු මර්දනය සඳහා කියුබා රජය අනුගමනය කළ සාර්ථක පියවර පිළිබඳ අවධාරණය කළ තානාපතිවරයා මෙරටින් ඩෙංගු තුරන් කිරීම සඳහා උපරිමයෙන් සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

මදුරු කීටයන් මර්දනය කිරීමට භාවිත කරන ක්‍රම කිහිපයක් ද සාකච්ඡාව අතරතුර හඳුන්වා දී ඇති බව සඳහන්.

සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේර, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ඇතුළු පිරිසක් සහභාගි විය.

මේ වසරේ වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 45,959ක් ලෙසයි.