දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර ඇතුලු පළාත් 07ක පවුල් 15,713ක පවුල් 55,561ක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා
හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද හෙලිකොප්ටර් යානා කිහිපයක් සූදානම් කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව බෙල් 412 හෙලිකොප්ටර් යානා 02ක් සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා 04ක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ ප්‍රකාශ කළේ.
එසේම නාවික හමුදාව ද සහන කණ්ඩායම් 134ක් තවදුරටත් සූදානමින් තබා ඇති බව සදහන්.
අධික වර්ෂාපතනය හමුවේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල අද පස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා.
එසේම අම්පාර, මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පොළොන්නරුව – අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය බාධා එල්ල වී ඇත්තේ අරලගංවිල – බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පාලමක් ගිලා බැසීම හේතුවෙන්.
මේ අතර අම්පාර නගරයට පිවිසෙන සියලු මාර්ග ද මේ වන විට ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ද ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අතර මාතලේ අකුරම්බඩ මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් අවට පිරිස් හට ගමනාගමන කටයුතු අඩාල වී තිබුණා.

