ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි සඳහන් වෙන්නේ.

ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව දියත් කරනු ලබන ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව සඳහන්.

එසේම මොවුන්ට සහය දක්වන ජාලය හදුනා ගැනීමට සඳහා පොලිසිය මේ වනවිට පුළුල් පරීක්ෂයක් ආරම්භ කර තිබෙනවා.

මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ මුල්වරට අනාවරණය කළේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින්.

එම නිවේදනය පදනම් කර ගනිමින් බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ රුසියාවද ඇතුලු තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් මාලාවක් යාවත්කාලීන කිරිමට පියවර ගනු ලැබුවා.