2024 ජූලි මාසයේ අපනයන ආදායම බිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,087.6 ක් ලෙස සටහන් වී තිබෙනවා .

එය 2023 ජූලි මාසයට සාපේක්ෂව 6.58% ක වර්ධනයක් වාර්තා කර ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ.

මෙයට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන සහ මුහුදු ආහාර අපනයනයෙන් ඉපැයීම් ඉහළ යාම හේතු වී තිබෙනවා.

තවද, 2024 ජූනි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසයේ අපනයන කාර්ය සාධනය 0.98% කින් වැඩි වී තිබෙනවා.

2024 ජූලි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 293.26 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 16.44% කින් වැඩි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ජූලි මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයෙන්ම මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 8.53% ක වර්ධනයක් සහිතව ඇමෙරිකානු ඩොලර් මිලියන 1,380.84 ක් ලෙස වාර්තා විය.