TIN ලබා ගත්ත සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

වයස අවුරුදු 18වැඩි මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් සදහා බදු හඳුනා ගැනීමේ අංක (TIN) නිකුත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ බව අනාවරණ වුයේ පසුගිය 07 වනදා පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය සාකච්ඡා වු අවස්ථාවේදි.

මේ වසරේ නව බදු‍ ලිපි ගොනු 255194ක් විවෘත කර ඇති බවත් 2024.05.31 වන විට බදු ලිපිගොනු 1132598 ක් පවතින බවත් හෙළි විය.

ස්වෙච්ඡාවෙන් ටින් අංකය ලබා ගෙන ඇත්තේ ලක්ෂ 1.5ක පිරිසක් බැවින් ඉතිරි පිරිස මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බව කාරක සභාව විසින් පෙන්වා දුන්නා.

එසේම ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීම යටතේ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය හඳුනා ගැනීමේ අංකයක් ‍ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් අතර රාජ්‍ය ආයතනවලින් ද බිලියන 29ක ඇතුළු හිඟබදු අයකර ගැනීම සදහා කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව දැනුම් දී සිටියා.

2024 ජූනි 30 වන විට අපේක්ෂිත බදු ඉලක්කය වූ රු. බිලියන 826 ඉක්මවා යමින් රු. බිලියන 902ක් එකතු කිරීමට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසා සිටියා.

තවද අභියාචනා ක්‍රියාවලිය නිසා බදු අයකර ගැනීම පමාවීම වැළැක්වීම සදහා දේශීය ආදායම් පනතට සංශෝධන කඩිනමින් සිදුකරන ලෙස ද දැනුම් දුන්නා.

එසේම තාවකාලික වැට් අංක ලබා දීම නිසා සිදුවන වංචාවන් නතර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේශනයක් සිදුකර මෙම වසරේ අගවන විට සම්පූර්ණයෙන් තාවකාලික වැට් අංක ලබාදීම නතර කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.