මියන්මාරයෙන් නව පොලොං විශේෂයක් හඳුනා ගනී

සිංගප්පූරුවේ ලී කොං චියන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ සහ කැන්සාස් විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්ව ආයතනයේ සේවය කරන ආචාර්ය චෑන් කින් ඔන් විසින් සිදු කරන ලද අධ්‍යනයක දී නව පොලොං විශේෂයක් හඳුනා ගැනීමට සමත් වී තිබෙනවා.

මියන්මාරයෙන් හමු වුණු මෙම නව විශේෂය pit viper යන පොලොං විශේෂයේ එක ප්‍රභේදයක් ලෙසයි මොවුන් වැඩිදුරටත් හඳුනා ගෙන ඇත්තේ.

අලුතින් සොයාගත් විශේෂය Ayeyarwady pit viper (Trimeresurus ayeyarwadyensis) ලෙස මියන්මාරයේ Ayeyarwady ගඟෙන් නම් කර තිබෙනවා.

මෙම නව විශේෂයේ ද ජීවින් අතර විවිධ වෙනස්කම් නිරීක්ෂණය කර ඇති අතර ඉන් කොටසක් තද කොළ පැහැති සමක් සහ දීප්තිමත් ලප ප්‍රදර්ශනය කර තිබෙනවා. තවත් කොටසක ශරීර වර්ණය තද කොල පැහැ වුවත් ඔවුන්ගේ ලප දකිනට ලැබී නැහැ.

Trimeresurus ගණයේ Asian pit vipers කුලය සම්බන්ධයෙන් මෙම අධ්‍යනය මෙහෙයවා ඇති අතර මෙම සතුන් ඔවුන්ගේ සමාන පෙනුම නිසා වෙන්කර හඳුනා ගැනීමට අපහසු වන බවයි සඳහන් වෙන්නේ.

Ayeyarwady pit viper සොයා ගැනීම කලාපයේ ජෛව විවිධත්වයට එකතු කරනවා පමණක් නොව, පරිණාමීය ඉතිහාසය සහ විශේෂ විභේදනයේ සංකීර්ණත්වය පිළිබඳ වටිනා අවබෝධයක් සපයන බවයි ආචාර්ය චෑන් කින් ඔන් සඳහන් කරන්නේ.