පිළිකා රෝගී කාන්තාවන් අතරින් බහුතරකට වැළඳී ඇත්තේ පියයුරු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී කාන්තාවන් 17 510 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 4,555ක් ම පියයුරු පිළිකා රෝගීන් වනවා. ප්‍රතිශතයක් ලෙස ගත් විය එය 26.0%ක් ලෙස දක්වා තිබෙනවා.
පූර්ව රෝග ලක්ෂණ හඳුනා නොගැනීම සහ ඒ පිළිබඳව දැනුවත් නොවීම, පියයුරු පිළිකා ආශ්රිත මරණ ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
පියයුරු පිළිකා ප්‍රාථමික හා ද්වීතික ලෙස වර්ග දෙකකට වෙන් කළ හැකි වනවා. පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වූයේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි. එසේම ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවක් ලෙස හඳුනා ගත හැකි වනවා.
බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදු නොවන බවයි වෛද්‍ය මත වන්නේ.
කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා යාමේ අවධානමක් පවතිනවා.
පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ
- පියයුරු ආශ්රිත සම ඝන වීම
- සම මතුපිට වළ ගැසීම
- තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
- තන පුඩුවෙන් දියරයක් ගැලීම
- අසීරුවක් හෝ වේදනාවක් දැනීම
- තන පුඩුව ඇතුළට ගිලී යාම
- නහර මතු වීම
- ඉදිමීම
- සැරව සහිත තුවාල ඇතිවීම
- සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
- පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
- තද ගැටිති
ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් එය පියයුරු පිලිකාවක මූලික ලක්ෂණ වන බැවින් වහා වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතු වනවා.
පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්ෂණයක් නමුත් පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවේ. කෙසේවෙතත් එවැනි තත්ත්වයක දී එය තහවුරු කර ගැනීම වැදගත් වනවා.
මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ජාතික පිළිකා ආයතනය සඳහන් කරනවා.
පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ
- තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
- පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
- යටිකුරු වූ තන පුඩු
- තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
- තන පුඩුවෙන් රුධිරය වහනය වීම
- කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
- තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම
මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වනවා.
නිරන්තරයෙන් ඔබේ ශරීරය ගැන විමසිලිමත්ව සිටීමෙන් මෙම අවස්ථා මුල් කාලයේ දී ම හඳුනා ගත හැකි අතර එවිට ඉතාම පහසුවෙන් සහ සම්පූර්ණයෙන් පිළිකාව ශරීරයෙන් ඉවත් කළ හැකි වනවා.
එසේම කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම ස්වයං පියයුරු පරීක්ෂාවක් නිරන්තරයෙන් සිදු කර ගැනීම හොඳ පුරුද්දක් වෙනවා. පහත ආකාරයට එය ඉතාම පහසුවෙන් ගෙදරදීම කර ගන්න පුළුවන්.

ඔයාට මෙහෙම කරනකොට ගැටිත්තක්, එහෙමත් නැත්නම් අසාමාන්‍ය වේදනාවක්, අමුත්තක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න.
මතක තියා ගන්න, පිළිකාව කියන්නේ හරි වෙලාවට හඳුනා ගෙන ප්‍රතිකාර කළොත් සුව කරන්න පුළුවන් රෝගයක්.

