මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් හට ගැනීමත් අද බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකි වනවා. මෙහි විවිධ අදියර හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් මේක හරිම වේදනාවක් ගෙන දෙන තත්ත්වයක්.
මුත්‍රා ගල් ඇති වීමට ප්‍රධාන හේතුවක් විදිහට හඳුනා ගෙන තියෙන්නේ අහිතකර ආහාරපාන අධිකව පරිභෝජනය කිරීම. ඒ වගේම නිසි පරිදි ජලය පානය නොකිරීමත් ප්‍රධාන හේතුවක්.
මෙහි ඇති ලක්ෂණ වන්නේ මුත්‍රාශය පිම්බීම, මුත්‍රාශය හා අවට ප්‍රදේශයේ වේදනාව, මුත්රාවල එළු ගඳ පැවැතීම, මුත්‍රා පිටකරද්දී අපහසුතාව, උණ ගතිය, කෑම අරුචියයි.
රෝගයේ සාමාන්‍ය ලක්ෂණ වන්නේ මුත්‍රාශය අවට තද වේදනාව, මුත්‍රා පථය ඇහිරී ඇති විටකදී මුත්‍රා ධාරා කිහිපයකින් විහිදී නිකුත් වීමයි. ගල ඉවත් වූ පසු මුත්‍රා පහසුවෙන් පිටවීම කළ හැකි වන නමුත් ගල ගැටීම නිසා මුත්‍රා පථය තුවාල වී නික්මෙන රුධිරය සමඟ තද වේදනාවක්, තද මහන්සියකින් මුත්‍රා පිටවීම, වමනය, හතිය එම මාර්ගයේ තද වේදනාවත් සිදු වනවා.
මුත්‍රා ගල්වල මූලිකම එක් ලකුණක් වන්නේ වේදනාකාරී බවයි. මෙම වේදනාව ගල පවතින ස්ථානය, එහි ප්‍රමාණය ආදිය මත ඍජුවම වෙනස් වෙනවා. නොසොල්මනේ පවතිනා කුඩා ගලකින් වේදනාව වෙනවා අවමයි. නමුත් එයට යටි චලනයක් දක්වන්නට හැකි වීමත් සමඟ වේදනාව ඇති වීම සුලබයි.
මෙය බියවිය යුතු දෙයක් නොවේ. මුල් අවස්ථාවේ සිටම නිසි ප්‍රතිකාර කළහොත් නිට්ටාවටම සුවකර ගත හැකි තත්ත්වයක්.
නමුත් නළ මඟින් නික්මවා ගත හැකි අසාධ්‍ය තත්ත්වයන් දක්වා වර්ධනය වුවහොත් ඒවා සැත්කමකින්ද ඉවත් කළ හැකියි. එම නිසා මුල් තත්ත්වයේ සිට මේ ගැන දැනුවත් වීම අනිවාර්යය දෙයක්.
නිසි ප්‍රතිකාර වෙත යෑම වටී. නමුත් ස්ඵටික ගතිය පිපිරී යෑමට බෙහෙත් යෙදීම අනතුරුදායකය. එසේ වීමෙන් සියුම් කැබැලිවලට කැඩී නළ තුළ තුවාල තත්ත්වයන් ඇති විය හැකිය. එම නිසා මේ රෝග තත්ත්වය ඇති අය සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරවා ගෙන නිසි ප්‍රතිකාර පටන් ගැනීම මුල් අවධියේ සිටම කරනවා නම් ඉතාම ඉක්මනින් සුව වෙන්න පුළුවන්.
ගලේ ස්වභාවය හා ප්‍රමාණය අනුව මුත්‍රාශයේ පිටත විවරයේ මෙම ගල් සිරවීම් වෙන්න පුළුවන්. එවිට මුත්‍රා පහ කිරීමේ නොහැකියාව, එනම් මුත්‍රා අඩස්සිය හා වේදනාකාරී ලෙස මුත්‍රා කිරීමේ තදබල වුවමනාවක් ඇති වෙනවා. ගල් රැඳීම නිසා නිතර මුත්‍රා ආසාදනය ඇති වීමත් එම නිසා ආසාදිත දුර්ගන්ධයක් සභික මුත්‍රා පිටවීම, උණ, වෙව්ලීම ආදිය ඇති වන්නත් පුළුවන්.
හෙළ වෙදකමට අනුව නම් මෙම රෝග තත්ත්වයට ගැළපෙන පථ්‍ය ආහාර පාන කිහිපයක් වෙයි. විශේෂයෙන් උණු කළ පිරිසුදු ජලය, තැඹිලි වතුර පානය ඉතා ගුණය.
කැකිරි, පුහුල්, පිපිඤ්ඤා, පතෝල වැනි දියර තත්ත්වයේ එළවළුද ගුණය. තවද සාරන, කූර තම්පලා, පොල්පලා, ඉකිරිය වැනි පලා වර්ග කෑමට ගුණය. කොල්ලු, මුං ඇට, බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඉතා හොඳය. ෙදාඩම්, කොමඩු, කටු අනෝදා වැනි පලතුරු අගනේය. එනසාල්, කරාබුනැටි, කොත්තමල්ලි වැනි කුළුබඩු ගුණය. කෝමාරිකා, අක්කපාන, කුප්පමේනියා වැනි ශාකමය ආහාර ඉතා ගුණය.
එමෙන්ම මෙම රෝග තත්ත්වයට සුදුසු නොවන ආහාරද ඔබ හඳුනාගත යුතුය. එවායෙන් වැළකිය යුතුයි.
එනම් තක්කාලි, බල මාළු, අන්නාසි, ඉස්සෝ, දැල්ලො, කෙළවල්ලෝ වැනි උෂ්ණ ආහාර අගුණය. එසේම කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ පාන වර්ග, හාල්මැස්සන්, තක්කාලි එකට ඉවීම හා ආහාරය මුත්‍රා ගල් වලට අත වැනීමක් විදිහට හඳුන්වන්න පුළුවන්.
එහෙනම් ඔබත් මේ කරුණු කෙරෙහි අවදානය යොමු කරලා නිරෝගී ජීවිතයකට මඟ පා දා ගන්න.

