පවතින වැසි තත්වයත් සමග අද(21) අළුයම වන විට කලාවැව ජල ධාරිතාවය උපරිම මට්ටමට පැමිණිම හේතුවෙන් කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද(21) උදෑසන 6.00 සිට කලාවැව හදිසි වාන් දොරටු දෙක මෙලෙස විවෘත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එකක් අඩි 1 බැගින් වන සේ එම හදිසි වාන් දොරටු දෙකම විවෘතකර තිබෙන අතර විවෘත කර ඇති එම හදිසි වාන් දොරටු දෙක මගින් කලාවැවේ සිට කලා ඔයට මුදා හැරෙන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 1241ක්.
දඹුළු ඔය ඇතුළු ජල මුලාශ්ර මගින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 988ක ජල ධාරිතාවයක් කලාවැවට එක්වෙමින් පවතින බව ද කලාවැව ජලාශ භාර කාර්යාලය පවසනවා.
කලාවැවේ සමස්ථ ජලධාරිතාවය මේ වනවිට අක්කර අඩි 85505 වී තිබෙන අතර ඒ අනුව පවතින වැසි තත්වය තව දුරටත් පැවතියහොත් කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස අනුරාධපුර ආපදා කළමනාකරණ දිස්ත්රික් කාර්යාලය කලා ඔය දෙපස පදිංචි කරුවන්ට දැනුම් දීමක් ද කර සිටිනවා.

