ලොව විශාලතම ළදරු ආහාර සමාගම වන Nestlé (නෙස්ලේ) ලෝකයේ බොහෝ දුප්පත් රටවල අලෙවි කරන ළදරු කිරි සහ ධාන්‍ය නිෂ්පාදන සඳහා සීනි සහ මී පැණි එකතු කරන බවට හෙළි වී තිබෙනවා.
ළදරුවන්ගේ බඩවැල්වල විෂ නිපදවිය හැකි බැක්ටීරියා මී පැණි වල අඩංගු බැවින් ළදරුවන්ට මී පැණි ලබා නොදිය යුතු බවට විශේෂඥයන් උපදෙස් දී තිබෙනවා.
එසේම ළදරුවන්ට සීනි සහිත ආහාර ලබා දීම ඔවුන්ගේ දත් දිරා යෑම හේතු විය හැකි වන අතර දීර්ඝ කාලයක් තිස්සේ සීනි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීම තුලින් තරබාරුව ආදී තත්ත්ව පවා ඇති විය හැකි වනවා.
Nestlé විසින් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ අලෙවි කරන ලද ළදරු ආහාර යොදා ගෙන ස්විට්සර්ලන්ත විමර්ශන සංවිධානයක් වන Public Eye විසින් සිදු කරන ලද පරීක්ෂණයක දී මේ බව අනාවරණය වී තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ අලෙවි වන, මාස හයේ සිට අවුරුදු දෙක දක්වා ළමුන් සඳහා ලබා දෙන Cerelac හි එක් කොටසක සීනි ග්‍රෑම් හයක් අඩංගු වන නමුත් ස්විට්සර්ලන්තයේ අලෙවි වන එම නිෂ්පාදනයේම සීනි එකතු කර නොමැති බවට මෙහි දී පෙනී ගොස් තිබෙනවා.
යුරෝපය, ඇමරිකාව වැනි දියුණු රටවල ළමයින් සඳහා සකසන Nestlé ආහාර වැඩි ගුණාත්මකභාවයෙන් යුතුව සහ තුන්වන ලෝකයේ රටවල් සඳහා ලබා දෙන ආහාර අඩු ගුණාත්මකභාවයෙන් යුතුවත් සකසන බවයි Public Eye චෝදනා කරන්නේ.
කුඩා දරුවන්ගේ ආහාර වේලෙන් සීනි ප්‍රමාණය ඉවත් කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කර තිබෙන පසුබිමකයි Nestlé සමාගම මෙලෙස ඔවුන්ගේ නිෂ්පාදන කොටසකට සීනි අඩංගු කර ඇත්තේ.

