පලවෙනි වතාවට ලිංගිකව එකතු වීම කියන දේ ගැහැණු පිරිමි කාටත් අමතක නොවෙන අත්දැකීමක්.
ලිංගික දැනුම ගැන ඔස්තාර් කෙනෙක්ට වුණත් පලවෙනි පාරට කරන්න යනකොට ටිකක් බයක්, අමුතු හැඟීමක් ඇති වෙනවා. ඒක ඇත්තටම සාමාන්‍ය දෙයක්.
ගොඩ ඉද ගෙන පීනන්න දන්නවා කියලා කොච්චර පම්පෝරි ගැහුවත් වතුරට බැස්සම ඒ කතාව වෙනස් වෙනවා වගේ තමයි. වතුරට බැස්සම නේ රැල්ල එනවා, ගහගෙන යන්න එනවා වගේ දේවල් දැනෙන්නේ.
පලවෙනි ලිංගික එකතු වීම ගැන සෑහෙන්න මිත්‍යා මත එහෙමත් තියෙනවා. මීට කලින් අත්දැකීමක් නැති නිසා හරි මොනවද වැරදි මොනවද කියලා හිතා ගන්නත් අමාරුයි.
ගොඩක් අය බලාපොරොත්තු වෙනවා පලවෙනි ලිංගික එකතු වීම හරිම සුන්දර, හරිම ආතල් එකක් වෙයි කියලා. ඔයා first time කියලා බලලා තියෙන porn එක්ක කිසිසේත්ම ඔයාගේ පලවෙනි අවස්තාව සංසන්දනය කරන්න යන්න එපා.
මොකද porn එකක් කියන්නේ චිත්‍රපටයක් වගේ. චිත්‍රපට වල වෙනවා වගේ කෙල්ලගේ සාරිය ඔයාගේ ඔරලෝසුවේ පැටලිලා, ඔයා කෙල්ලගේ පස්සෙන් යනකොට ඒකි හැරිලා බලනවා, කෙල්ල වැටෙනකොට අල්ල ගන්නවා වගේ දේවල් ඇත්ත ලෝකේ සිද්ධ වෙන්නේ නෑ නේ. ඒ වගේ තමයි porn කියන්නෙත්. එයාලත් කරන්නේ රඟපාන එක.
ඒ නිසා මෙන්න මේ දේවල් 5 ඔයා ඉස්සෙල්ලම ලිංගිකව එකතු වෙන්න කලින් අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනි දේවල් ටිකක්
පලවෙනි පාරින් වුණත් pregnant වීමේ හැකියාවක් තියෙනවා
මේක අනිවාර්යයෙන් මතක තියා ගන්න ඕනි දෙයක්. ගොඩක් අය හිතනවා පලවෙනියටම ලිංගිකව එකතු වෙන අවස්ථාවේ දී pregnant වෙන්න කිසිම අවස්ථාවක් නැහැ කියලා. ඇත්තටම ඒක 100%ක් වැරදි දෙයක්. ලිංගිකව එකතු වෙනකොට පිරිමියාගේ ශුක්‍රාණු කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුළු වුණොත් එතන pregnant වීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා.
ඒ වගේම ශුක්‍රානු පිටවෙන්න කලින් ශිෂ්ණය එලියට ගත්තා කියලා මේ pregnant වීමේ සම්භාවිතාවය 0 වෙන්නේ නැහැ. මොකද ශුක්‍රානු පිටවෙන්න කලිනුත් සුළු වශයෙන් තරලයක් පිට වෙනවා, සහ ඒකේ ශුක්‍රානු තිබිලා ඒවා යෝනි මාර්ගය දිගේ ගිහින් සංසේචනය වීමේ හැකියාව තියෙනවා.
ඒ නිසා පලවෙනි පාර වුණත් අනිවාර්යයෙන් කොන්ඩම් එකක් use කරන්න. ආරක්ෂිතව ඒ වැඩේ කරන්න.
ඔයා බබෙක් හදන්න plan කරනවා නම් කොන්ඩම් ඕනි නෑ හොඳේ… කොහොම වූනත් දෙන්නම HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සඳහා වූ පරීක්ෂණ සිදු කරලා තියා ගන්න.
ලිංගිකව එකතු වෙන අවස්ථාවේ ඇති වෙන වෙනස්කම් තාවකාලිකයි
ලිංගිකව එකතු වෙනකොට ගැහැණු සහ පිරිමි කියන දෙපාර්ශවයේම ශරීර වල විවිධ වෙනස්කම සිදු වෙනවා. ඉතින් ඒ වෙනස්කම් කිසිම එකක් සදාකාලික නැහැ. උදාහරණයක් විදිහට යෝනි තොල් පෙති ඉදිමීම, ශිෂ්ණය ඍජු වීම වගේ දේවල් ලිංගිකව එකතු වීම අවසන් වෙලා මිනිත්තු කිහිපයකින් නැති වෙලා යනවා. ඒ කිසිම දෙයක් සදාකාලික නැහැ.
ඒ වගේම ඔයා ලිංගිකව එකතු වුණා කියලා කාටවත් බාහිරින් කියන්නත් බැහැ. පලවෙනි වතාවට ලිංගිකව එකතු වීමට පෙර සහ පසු කියන අවස්ථා දෙකේදී ම ශරිරයන් බාහිරින් සමාන වෙනවා. පලවෙනි වතාවට ලිංගිකව එකතු වීමේ දී යෝනි විවරය විශාල වුණත් ඒක යළිත් ඉක්මනින් හිටිය ගානටම එනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර ගන්න ඕනි නැහැ ඒ ගැන,
පළමු ලිංගික එකතු වීමේ දී රුධිර වහනයක් සිදු නොවෙන්න පුළුවන්
ගොඩක් අය හිතෙනවා පලවෙනි ලිංගික එකතු වීමේ දී ගැහැණු ළමයාගේ කන්‍යා පටලය බිඳිලා රුධිරය වහනය වීමක් සිදු වීම අනිවාර්යයි කියලා. මේ වැරදි මිත්‍යා මතය නිසා ගොඩක් සම්බන්ධතා සහ පවුල් ජිවිත පවා විනාශ වෙලා ගිහින් තියෙනවා. කන්‍යා පටලය කියන්නේ ජෑම් බෝතලයක පියනක් වගේ නෙමෙයි, යෝනි මාර්ගය ඇතුල සම්පූර්ණයෙන් ඒ හරහා ආවරණය වීමක් සිදු වෙලා නැහැ. ඔසප් රුධිරය එහෙම යන්න මේකේ හිඩැස් තියෙනවා.
සම්පූර්ණ ආවරණයක් විදිහට ක්‍රියා කරන්නේ නැති නිසා ශිෂ්ණය මුල් වතාවට ඇතුළත් කරනකොට රුධිරය පිට නොවීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම සමහර කාන්තාවන්ගේ පලවෙනි වගේම දෙවන සහ තුන්වන ලිංගික එකතු වීම් වලදීත් රුධිරය පිට වෙන්න පුළුවන්. එක එක අයගේ ශරීර එක එක විදිහේ වෙන නිසා පළමු ලිංගිකව එකතු වීමේ දී රුධිරය පිට වීම හෝ නොවීම ගැන හිතන්න එපා.
සමහර අයට උපතින්ම කන්‍යා පටලයක් පිහිටලා තියෙන්නෙත් නැහැ. ඒ නිසා රුධිරය වහනයක් වීම සිදු වීම කියන දේ කිසිසේත්ම කන්‍යාභාවය තහවුරු කරන්න යොදා ගන්න පුළුවන් විශ්වාසවන්ත දෙයක් නෙමෙයි.
පලවෙනි ලිංගික එක් වීම අතිශය වේදකාරි වෙන්නේ නැහැ
පලවෙනි ලිංගික එක් වීම අතිශය වේදනාකාරී කියන එක සමාජයේ බහුලවම තියෙන තවත් දුර්මතයක්. ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමේ දී පොඩි වේදනාවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. මොකද ඒක අලුත් දෙයක් නිසා අපේ හිතේ පොඩි චංචල ස්වාභාවයක්, හුරු නැති බවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම අපේ ශරීරය විසින් නිපදවන lubricant ශ්‍රාවය වීමේ අඩුවක් වෙන්න පුළුවන්.
එහෙම අවස්තාවක ටිකක් වැඩියෙන් lubricant එකක් use කරන්න. මොකද එහෙම නැත්නම් නම් තුවාල වෙන්න පුළුවන් වගේම වේදනාකාරී වෙන්න පුළුවන්.
කොහොම වුණත් ලිංගිකව එකතු වන අවස්තාව සහ, ඉන් පසුව අධිකව වේදනාවක් දැනෙනවා නම් ඒක මොනවා හරි ලෙඩක් වෙන්න පුළුවන්. පිරිමි ළමයි සමහර දෙනා ශුක්‍රානු පිට කිරීමෙන් පසුව cramps වගේ තත්ත්ව වලට මුහුණ දෙනවා. sperm cramps විදිහට හඳුන්වන මේවා ඉතා වේදනාකාරී වෙන්න පුළුවන්. කොහොම වුණත් එහෙම වේදනාවක ඇති වීම සාමාන්‍ය නොවන නිසා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන්න ඕනේ.
ගැහැණු ලමයිටත් අධිකව වේදනාවක් ඇති වෙනවා නම් ගර්භාෂයේ ඇති ගෙඩි (uterine fibroids), cystitis වගේ දේවල් නිසා ඒ දේ වෙන්න පුළුවන්.
ඒ නිසා පලවෙනි ලිංගික එකතු වීමේ දී වුණත් දිගු කාලයක් වැඩි වේදනාවක් ඇති වීම සාමාන්‍ය දෙයක් නොවෙන බව මතක තියා ගන්න.
සුරාන්තයට ලඟා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්
කලිනුත් කිව්වා වගේ පලවෙනි පාරට ලිංගිකව එකතු වෙනවා කියන එක අලුත් දෙයක් නිසා හිතේ අමුතු හැඟීමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසාම ගැහැණු ළමයින්ට සමහර වෙලාවට පලවෙනි වතාවට ලිංගිකව එකතු වෙනකොට සුරන්තයට ලඟා වීම සිදු වෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි පිරිමි ළමයින්ට වෙනදට වඩා කලින් ශුක්‍රානු පිටවීමක් වෙන්න පුළුවන්. ( වෙනදට කියන්නේ ඉතින් තනියෙන් කරනකොට හෝ ඊට කලින් ඔයා පුරුදු කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන අවස්තාවක…. හිකිස්…)
පලවෙනි වතාවට ලිංගිකව එකතු වෙනකොට සුරාන්තයට ලඟා වුණේ නැහැ, එහෙමත් නැත්නම් කලින් ගියා කියලා ඒක ඔයා විතරක් අත්විඳින අසාමාන්‍ය දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ.
ඔයා එයා එක්ක පුරුදු වෙනකොට දෙන්නටම ඒක හරි යයි. practice is the key කියනවා නේ. ඉතින් වැඩේ තියෙන්නේ ඔය දෙන්නගේ අතේ තමයි…
පලවෙනි පාර කියන්නේ අලුත් දෙයක් නේ. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන් මතක තියා ගන්න ඔයා පලවෙනි පාර කරනකොට.
සමහර වෙලාවට ඔයාගේ පලවෙනි පාර නොවුණට එයාගේ පලවෙනි පාර වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය දෙන්න එකට කරන පලවෙනි පාර වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම දෙන්නට දෙන්නා තේරුම් ගෙන වැඩේ කරන්න ඕනේ.
කලිනුත් කිව්වා වගේ අපි හැමෝගෙම ශරීර එකිනෙකාට වෙනස්. ඔයා කලින් කරලා තියෙන එකක් එක්කවත්, ඔයා දැකලා තියෙන එකක් එක්කවත්, දැන් ඔයා කරන එක සංසන්දනය කරන්න යන්න එපා.
පලවෙනිම ලිංගික එකතු වීම කියන එක සුන්දරම ලිංගික අත්දැකීම වෙන්නේ නැහැ කාටවත්. කාලයක් යනකොට තමයි ඒ දේ සුන්දර වෙන්නේ.
ඒ සුන්දර කාලෙට හෙමින් ඉවසීමෙන්, දේවල් තේරුම් ගෙන යන එක තමයි වටින්නේ.

