උතුරු ගාසා තීරයට ආහාර ආධාර ලබා දීම නවතියි

ලෝක ආහාර වැඩසටහන මඟින් උතුරු ගාසා තීරයට ආහාර ලබා දීම නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ උතුරු ගාසා තීරයේ වැසියන් අතර සාමය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටි ඇති බවත්, ආධාර රැගෙන ගිය පුද්ගලයන්ව ඔවුන් විසින් කොල්ල කා ඔවුන්ට තුවාල සිදු කර ඇති බවත් ය.

පසුගිය මාසය වන විට උතුරු ගාසා තීරයේ පලස්තීන සරණාගතයින් 300,000කට අධික ප්‍රමාණයක් ඇති බවට් ගණනය කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා විසින් පනවා ඇති සම්බාධක හමුවේ උතුරු ගාසා තීරයට ආධාර ගමන් කිරීම ඉතාම සීමිත වශයෙන් සිදු වීම මෙලෙස එහි ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර දකුණු නගරය වන ඛාන් යුනිස් සහ මධ්‍යම නගරය වන ඩීර් අල්-බාලා අතර ධාවනය වූ ආධාර රැගත් ලොරි කිහිපයක් ද කොල්ලකෑමට ලක්ව ඇති අතර කොල්ලකරුවන් විසින් රථයේ රියදුරෙකුට පහර දී තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින සටන් දිගටම පැවතුනහොත් ගාසා තීරය දරුණු සාගතයකට මුහුණ දෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුනපුනා අනතුරු අඟවන්නේ.