දෙයියන්ගේ මල්ලි – සල්ලි ආකර්ෂණය කර ගන්න ක්‍රම 05ක්

සල්ලි වලට දෙයියන්ගේ මල්ලි කියන්නේ ඇයි කියල නම් ඉතින් මන් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. සල්ලි තියෙනවා නම් මේ ලෝකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ එයාලගේ අතට සල්ලි ලැබෙනවා අඩු වෙන එක. බිස්නස් කරන කෙනෙක් නම් හරියට ආදායමක් නැති වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගන්න පඩිය දවසෙන් ඉවර වෙන්න පුළුවන්.

ඒ දේවල් අඩු කර ගෙන ඔයාට සල්ලි ටිකක් ආකර්ෂණය කර ගන්න Feng Shui (ෆෙන්ෂුයි) ක්‍රම ටිකක් තමයි අද අපි අරගෙන ආවේ. Feng Shui කියන එකේ “Feng” යන්නෙහි තේරුම වාතය සහ “Shui” යන්නෙහි තේරුම ජලය වනවා. ඉතින් මේ Feng Shui කියන එකෙන් කරන්නේ ධනය ආකර්ෂණය වීම සඳහා හොඳ වටපිටාවක් ඇති කිරීම.

එහෙනම් ටක් ගාල බලමු මොනවද ඒ කියලා..

1. නිවසේ ඉදිරිපස අලංකාර වීම

අපි ගෙදරකට ඇතුළු වෙන්නේ ඉස්සරහ දොරින් නේ. ඉතින් ගෙදරක ඉස්සරහ දොර සරසලා ලස්සනට තියෙනවා නම් හරිම ප්‍රියමනාපයි, ඇතුළු වෙන්න ආස හිතෙනවා. Feng Shui අය විශ්වාස කරන්නේ මේ වගේ ලස්සන දොරක් සහ ගෙදර ඉදිරිපසක් තිබීම තුලින් ගෙදරට ධනය සහ වාසනාව ලඟා කර ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔයාගේ ගෙදර ඉස්සරහ මිදුල ලස්සනට මල් තියලා, අතුගාල තියන්න. ඒ වගේම දොර ඇරෙනකොට අනවශ්‍ය ශබ්ද ඇති වීමත් ධනය ආකර්ෂණය නොවෙන්න හේතුවක් කියලා තමයි කියන්නේ. ගෙදරට ඇතුළු වෙන දොර ලගම සපත්තු තියන්නත් එපා. මොකද අපි හැමතැනම එළියේ දාන සපත්තු ටිකක් අපිරිසිදු දෙයක් නේ.පුළුවන් තරම් ගෙදර ඉස්සරහ ලස්සනට පිරිසිදුව තියන්න. ඔයාගේ ගෙදර ලොකු වුණත් පොඩි වුණත් ලස්සනට එලිය වැටෙන්න හදා ගන්න.. එතකොට අනිවාර්යයෙන්ම ඔයාටත් වාසනාව උදා වෙයි.

2. නිවසේ ඇතුලත ලී භාණ්ඩ, රත්රන් ආලේපිත මූර්ති ආදිය තැබීම

ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුලට ආවම තියෙන්නේ සාලය නේ. ඉතින් මේකත් ඔයාට පුළුවන් ලස්සන බඩු එහෙම තියලා සරසන්න. විශේෂයෙන් කුඩා ලී වලින් සැකසුනු බඩු, රත්තරන් පාට පිළිම ආදිය වගේම ජලය, සාගරය සහ මත්‍යසයන් ඉන්න චිත්‍ර, වගේ දේවල් ඔයාගේ සාලේ තියන්න. Feng Shui කාසි වූනත් ලස්සනට ඔයාට මේ සාලේ තියන්න පුළුවන්. ඒ වගේම සාලෙට හොඳ ආලෝකයක් වැටෙන්න සලස්වන්න, අඳුරු පැහැ වර්ණ සහ අඩු ආලෝකයක් සහිත bulb වගේ දේවල් සාලෙට යොදන්නේ නැතුව ඉන්න එක තමයි වඩාත්ම හොඳ. ලස්සන carpets භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

3. නිවාස, කාර්යාලය පිළිවෙලට තබා ගැනීම

අපේ ගෙදරට වාසනාව සහ ධනය එන්න ඕනි නම් කරන්න ඕනි වැදගත්ම දෙයක් තමයි දේවල් පිළිවෙලට තියා ගන්න එක. අපි ජිවත් වෙන පරිසරය අවුල් සහගතයි කියන්නේ අපේ ජිවිතත් අවුල් සහගතයි කියන එක. ඉතින් අවුල් ගොඩක් තියෙන තැනකට කිසිම ධනයක් හෝ සුබ ශක්තියක් එකතු වෙන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදර, වැඩ කරන ස්ථානය ලස්සනට පිළිවෙලට තියන්න. ඒ වගේම ඔයාට පුළුවන් සාම්බ්‍රානි හෝ වෙනත් සුදුසු ශරීරයට හිතකර සුවඳ ජාතියක් ඔයාගේ ගෙදර සහ වැඩ කරන ස්ථානයේ තබා ගන්න. එකෙන් හරිම ප්‍රසන්න වටපිටාවක් ඇති වෙනවා සහ ඔයාගේ අවට ධනාත්මක ශක්තිය එකතු වෙන්න ගන්නවා.

කැඩුණු බිඳුණු දේවල් ඔයාගේ ගෙදර තියා ගන්නත් එපා. ගෙදර ඇතුලේ පැල වගේ තියෙනවා නම් ඒවා හොද ලස්සන ප්‍රාණවත් පැල විතරක් වෙන්න ඕනි. ඒවාගේ මැරුණු කොටස් තියෙනවා නම් ඒවා ඉවත් කරන්නත් අමතක කරන්න එපා.

ජලය කාන්දු වෙන තැන් තියෙනවා නම් ඉක්මනින්ම ඒවා පිළිසකර කර ගන්න.

4. ඔයාගේ wallet එක ගැන සැලකිලිමත් වෙන්න

ගොඩක් අයගේ පුරුද්දක් තමයි bus ticket , bills සහ විවිධ රිසිට් පත් wallet එකේ දා ගෙන ඉන්න එක. එත් එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද bill එකක් හෝ රිසිට් පතක් කියන්නේ අපෙන් මුදල් වැය වීමක් නේ. ඉතින් එහෙම මුදල් වැය වෙන දේවල පෙ wallet එක ඇතුලේ දා ගෙන හිටියාම wallet එකට එන සල්ලිත් වියදම් වෙලා යනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඔයාගේ wallet එකේ තියන්නේ නැතුව අලුත් සල්ලි වලට එතනට එන්න හොඳට ඉඩ තියා ගන්න. ඉරුණු නෝට්ටු බැංකුවට දීලා අලුත් නෝට්ටු ගන්න.

ඒ වගේම ඔයාගේ wallet එක ඉරිලා වගේ නම් අනිවාර්යයෙන්ම අලුත් wallet එකකට මාරු වෙන්න. මොකද ඔයාගේ සල්ලි එකතු වෙන තැන හොඳට තියෙනකොට තමයි එතනට සල්ලි එකතු වෙන්නේ. අලුත් wallet එකක් ගන්නකොට වුණත් රතු පාට වගේ එකකට විශේෂ තැනක් දෙන්න. බොහෝ කාන්තාවන් නම් පාට පාට wallet පාවිච්චි කරන නිසා එයාලට ලේසියෙන්ම මේ රතු wallet එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ wallet එක ලස්සනට පිරිසිදුව තියා ගන්න..

5. ධනය ගබඩා කිරීම සඳහා නිරිත දිශාව තෝරා ගැනීම

අපේ ධනය, රත්රන් බඩු සහ නොයෙකුත් දේවල් නිරිත කියන දිශාවේ තියෙන එක සුබයි කියලා තමයි Feng Shui කියන්නේ. එහෙම නිරිත දිග දිශාවෙන්ම තියන්න අපහසු නම් ඔයාට පුළුවන් නැගෙනහිර සහ ගිනිකොන කියන දිශා මග ඇරලා තියන්න තියන්න. ඒක අනවශ්‍ය වියදම් අඩු වෙලා ධනය ඉතුරු වෙන්න හේතු වෙනවා. ඒ වගේම ධනය ගබඩා කරලා තියෙන ස්ථානයේ ඔයාට පුළුවන් නම් රතු රෙද්දක් තියන්න එකත් ගොඩක් උපකාරී වෙන්න පුළුවන් එතනට ධනය එකතු වෙන්න.

ඒ වගේම මේ දිශාවේ කුවේර ප්‍රතිමාවක් තියන්න පුළුවන් ඔයාට. එයා ළඟ Feng Shui කාසි කිහිපයක් හෝ වෙනත් කාසි කිහිපයක් තියන්නත් පුළුවන්.

මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ජිවිතයට ධනය සහ වාසනාව කියන දේ ලං කර ගන්න. මතක තියා ගන්න මේ දේවල් එක්ක ඔයාගේ උත්සාහය සහ කැපවීම කියන දේ අනිවාර්යයි.

එහෙනම් ජය වේවා!