අද පෙබරවාරි දහසයවෙනිදා, සිකුරාදා

හිරු නැගීම – 06:26
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:20

අද සිකුරාදා දවසක්. අද පුර අටවක දවස. ඒ කියන්නේ අමාවක ඉඳන් හඳ වැඩි වෙවී ඇවිත් අද හරියටම හඳ අඩක් වෙලා තියෙනවා. ඒකට තමයි පුර අටවක කියලා කියන්නේ.

සිකුරාදා දවස කියන්නේ ගොඩක් අය වැඩ කරන, ඉස්කෝලේ යන අවසාන දවස.. ඒක නිසා අද නම් ගොඩක් සතුටින් වැඩට, ඉස්කෝලෙට ගිහින් එන්න පුළුවන් නේද.. දවස් පහක ලොකු සතියකට පස්සේ නේ විවේකයක් හම්බ වෙන්නේ.

ඉස්සර කාලේ නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා සාපේක්ෂව අඩුයි. එයාල තමන්ගේ ආහාර, ගෙවල් දොරවල්, සහ ඇඳුම් පැළඳුම් ආදිය සපයා ගෙන බොහොම නිදහසේ ජිවත් වුණා. ඒ කාලේ මුදල් කියන දෙයත් ලොකුවට භාවිතා වුණේ නැති නිසා භාණ්ඩ හුවමාරු ක්‍රමයෙන් තමයි එයාල ගනුදෙනු කළේ. ඒ වගේම එයාලගේ අවශ්‍යතා හරිම සීමිතයි. ඒවා බොහොමයක් එයාල අවට තියෙන පරිසරයෙන් සපුරා ගන්න පුළුවන් දේවල්.

ඒ නිසාම එයාල සරල ජිවිත ගත කළා. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න වෙලාවක් තිබුනා.

කොහොම වුණත් අද ගත්තොත් අපේ අවශ්‍යතා හරිම සංකීර්ණයි. අද අපේ අවශ්‍යතා අපේ වටේ තියෙන දේවල් වලින් පිරිමසා ගන්න බැරිම තරම්ම එහෙම නේද… අපිට iphone, branded දේවල්, අරක ද මේක ද ඔක්කොම ඕනි වෙනවා නේ ජිවත් වෙන්න.

අපි ළඟ මේ මොහොතේ ඒවා ගන්න සල්ලි නැති වුණත් අපි මනසින් ඒවා එක්ක බැඳිලා කවදාහරි කොහොම හරි ගන්නවා කියන තැන නේ ඉන්නේ. දැන් අද සමාජය මුදල් මූලික වුණ සමාජයක් නිසා මුදල් නැතිව හුස්මවත් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ මුදල් අවශ්‍යතාවය පිරිමසා ගන්න අපි මහන්සි වෙලා වැඩ කරනවා.

ඒ කාලේ නම් හිරු මුදුන් වුණාට පස්සේ වැඩ කරන්නේ නැහැ, මිනිස්සු ගෙවල් වලට යනවා නේ. දැන් නම් බහුතරයක් මිනිස්සු ඉර නගින්නත් කලින් office ගිහින් ඉර බැස්සටත් පස්සේ තමයි ගෙදර එන්නේ.

අපි ගොඩක් අයට ඕනි වුණත් ඒ ජිවන රටාව අපිට වෙනස් කරන්න බැහැ, ඒවා අපේ ජිවිතේ අනිවාර්යයෙන් කළ යුතුම දේවල් වෙලා..

එහෙම තමයි නේද මේ ලෝකේ දැන් යන විදිහට අපිටත් ඒ ලෝකේ ජිවත් වෙන මිනිස්සු හැටියට ඒ විදිහට හැඩ ගැහෙන්න වෙලා. ඉස්සරහට මේ ලෝකේ ජිවත් වෙන්න තවත් අමාරු වෙයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක..

ඒ කොහොම වුණත් පුළුවන් තරම් සැහැල්ලුවෙන්, සතුටින් ඉන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ගහකොළ එක්ක ජිවත් වෙන්න. එතකොට එක මොහොතකට හරි රොබෝ කෙනෙක් නැතුව මනුස්සයෙක් විදිහට ඔයාට ඔයාවම දැනෙයි…

අද දවසේ තියෙන විශේෂත්ව ගත්තොත් අද Innovation Day එක. ඒ කියන්නේ අලුත් අලුත් දේවල් හොයා ගැනීම සඳහා වෙන් වුණු දවස. ඉතින් මන් කලින් කිව්වා නේ ඉස්සර අපේ ජිවිතේ හරිම සරලයි කියලා. එන්න ඒ සරල ජිවිතේ සංකීර්ණ කරන්න හේතු වුනේ මේ නව නිර්මාණ තමයි. හිකිස්.

ඒ වුණාට මේ නව නිර්මාණ නිසා තමයි අද මෙච්චර ලේසියෙන් ගොඩක් දේවල් කර ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් ලෙඩ රෝගවලට ප්‍රතිකාර සොයා ගෙන ඒ රෝගීන් බේරා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් මේ නව නිර්මාණ නිසා. ඒ නිසා ඉදිරියට යන ලෝකයක නම් අනිවාර්යය දෙයක් තමයි අලුත් දේවල් නිර්මාණය කරන එක.

අලුත් දෙයක් නිර්මාණය කරන්න ඕනි පලවෙනි පියවර තමයි වෙනස් විදිහට අලුතින් හිතන එක. අපි දකින දේවල් දිහා වෙනස් විදිහට බලපු මිනිස්සු තමයි මේ ලෝකයට අලුත් නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙන්නේ.

ඒ නිසා සාම්ප්‍රදායික විදිහට හිතන්නේ නැතුව වෙනස් විදිහටත් හිතලා බලන්න. ඔයා නොදැක්ක ගොඩක් දේවල් එතකොට පේන්න ගන්නවා.

එහෙනම් අද දවසේ ඔයා අලුත් විදිහට හිතන්න මහන්සි වෙන්න. හැමදාම දකින දේවල් වල නොදකින දේවල් ගැන කල්පනා කරන්න. හැමදාම තියෙන ප්‍රශ්න වලට අලුත් විසඳුමක් හිතන්න, හොයන්න..

ජය වේවා! තෙරුවන් සරණයි!