10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලයේ දී

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය මේ මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ දී පවත්වන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පවසනවා.

‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන ජම්බෝරියේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් 21 වැනිදා පැවැත්වෙනු ඇත.

ඒ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ නායකයන් 500ක් පමණ එක් වන බවයි ඔහු සඳහන් කළේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා,

“මේ වන විට ජම්බෝරියට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. 19 වනදා සිට එම බාලදක්ෂයින් කඳවුරුගත වෙනවා. මෙය දරුවන්ගේ ජීවිතය වෙනස් කරවන අත්දැකීමක් වේවි. 2020 වර්ෂයේ 10වන බාලදක්ෂ ජම්බරිය පැවැත් වීමට තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා. එම නිසා මෙම ජම්බරිය පවත්වන්නේ වසර 06කට පසුවයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තමයි බලාදක්ෂ බාලිකාවන් මෙම ජම්බරියට සහභාගී වන්නේ. මෙය මහජනතාවට සහ දෙමව්පියන්නට විවෘත බවත්, එම අවස්ථාව දැක බලා ගැනීමට දෙමව්පියන්ට සහ මහජනතාවට ආරාධනා කරනවා”