ජර්මනියේ උද්‍යානයකින් මීටර් 4ක් දිග පිඹුරෙක්

ජර්මනියේ දකුණු නියුකොල්න් දිස්ත්‍රික්කයේ හසන්හයිඩ් උද්‍යානයේ මීටර් 4ක් දිග ඉන්දියානු පිඹුරෙක් සොයා ගෙන තිබෙනවා.

උද්‍යානයේ ගසක් යට සිටියදී සොයා ගන්නා ලද මෙම සර්පයා පසුව කරන ලද පරීක්ෂණ වල දී මිය ගොස් සිටි බවයි තහවුරු කර ගෙන ඇත්තේ.

එම සත්ත්වයා දීර්ඝ කාලයක් නිරාහාරව සිට ඇති බවට සැක පළ කරන අතර අධික සීතල දරා ගත නොහැකිව මෙලෙස ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවයි උද්‍යානය භාර බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මහජනතාවගෙන් උපකාර ඉල්ලා සිටින අතර එම ප්‍රදේශයේ යමෙක් සතුව මේ වර්ගයේ පිඹුරෙක් ඇති ද යන්න සහ කවරෙකු හෝ මේ සත්ත්වයාව උද්‍යානයේ දී දැක ඇති ද යන්න සම්බන්ධයෙන් වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

ජර්මනියේ පශු වෛද්‍ය අධිකාරියේ බලපත්‍රයක් සහිතව මෙම ඉන්දියානු පිඹුරන් සුරතල් සතුන් ලෙස ඇති කළ හැකි වනවා.