කුඩා දරුවන්ගේ සැත්කම් දෙකක් සඳහා ජනාධිපති අරමුදලින් ආධාර

කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන කුඩා දරුවන්ගේ (වයස අවුරුදු 16ට අඩු ) අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා,ඔවුන්ට ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් (රු 1,000,000/-ක) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරේ.

එසේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා යන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලෙන් ලබා දීම සිදු වනු ඇත.

කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා යොදන උපකරණයේ (Implant) වටිනාකම රුපියල් මිලියන 3-4කට ආසන්න මුදලක් වන අතර එය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දෙනු ලබනවා.

මෙවැනි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීම රටට වන අනාගත ආයෝජනයක් ලෙස සලකමින් දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් වෙමින් ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.