අද චීන සම්ප්‍රදායික කැලැන්ඩරය අනුව චීනයට අලුත් අවුරුද්ද ලැබුවා. චීන වැසියන් මේ අවුරුද්ද නම් කරලා තියෙන්නේ මකරා ගේ අවුරුද්ද කියලා.
චීනයේ අවුරුදු 12ක රාශි චක්‍රයට විවිධ සත්ත්වයන් 12 දෙනෙක් නම් කරලා තියෙනවා. ඒ චක්‍රය අනුපිළිවෙලින් ගත්තොත් මීයන්, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා ලෙස දැක්වෙනවා.
ඔයාගේ චීන රාශිය තීරණය වෙන්නේ ඔයා ඉපදුන වසරත් එක්ක. උදාහරණයක් විදිහට කෙනෙක් 2024 අවුරුද්දේ ඉපදුනා නම් එයාගේ රාශිය වෙන්නේ මකර.
ඉතින් අපි වගේම තමයි චීන අයත් මේ අවුරුද්ද එයාලට කොහොම වෙයි ද කියලා දැන ගන්න හරිම උනන්දුයි. අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ චීන රාශියට අනුව මේ අවුරුද්ද කොහොම වෙයි ද කියලා පොඩි අනාවැකියක්..
ඔයාල ඔයාලගේ චීන රාශිය දන්නේ නැහැ කියලා හැරිලා යන්න එහෙම එපා. ඔයාගේ උපන් වසර එක්ක ගලපලා ඔයාගේ රාශිය හොයා ගන්න පුළුවන්.
මකරා
ඔයා 1964, 1976, 1988, 2000, 2012, සහ 2024 අවුරුදු වල නම් ඉපදිලා තියෙන්නේ ඔයාගේ චීන රාශිය වෙන්නේ මකරා.
රාශිය සහ වසරේ රාශිය සමාන වුණොත් ඒ අවුරුද්ද ටිකක් අඩුවෙන් සුබ ඵල දෙන අවුරුද්දක් විදිහට තමයි චීන වැසියන් විශ්වාස කරන්නේ.
ඉතින් ඔයාගේ රාශිය මකර නම් ඔයාට මේ අවුරුද්දේ යම් යම් සුළු බාධා එල්ල වෙන්න පුළුවන්. ඔයාගේ සම්බන්ධතා අවුල් යන්න පුළුවන්. ඒ වගේම ඔයාල කරන වැඩ තරමක් දුරට අසාර්ථක වෙන සහ ඒවාට වැඩියෙන් බාධා එල්ල වෙන වසරක්.
ඒ වගේම මකර රාශියේ අයට මේ වසරේ අනෙක් වසර වලට සාපේක්ෂව වියදම් අධික වසරක් වෙන්න පුළුවන්. ඒ වගේම මුදල් ලැබීමේ අඩුවක් වුණත් මේ වසරේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔයා මේ වසරවල ඉපදුනු මකර රාශියේ කෙනෙක් නම් මුදල් එහෙම ටිකක් අරපිරිමැස්මෙන් භාවිතා කරලා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ.
චීනයේ පැරණි කියමනක් තියෙනවා එක් වාසනාවන්ත සිදුවීමක් ඉදිරියට එන්න තියෙන කරදරකාරී සිදුවීම් තුනක් නැති කරලා දානවා කියලා. ඉතින් ඔයාත් මේ අවුරුද්දේ ධනාත්මක ශක්තිය ආකර්ෂණය කර ගැනීම සඳහා නිතරම හොඳ දේවල් කරන්න, සතුටු දේවල් වලට සහභාගී වෙන්න අමතක කරන්න එපා.

සර්පයා
ඔයා 1953, 1965, 1977, 1989, 2001, 2013 යන අවුරුදු වල ඉපදිලා තියෙනවා නම් ඔයාගේ චීන රාශිය තමයි සර්පයා කියන්නේ.
ඔන්න ඔයා සර්පයා රාශියේ නම් මේ අවුරුද්ද ඔයාට සුබ ඵල දෙන අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්දේ ඔයාට අලුත් යාළුවො මුණ ගැහෙනවා වගේම දැනට ඉන්න යාළුවන් අතරත් තියෙන සම්බන්ධතා තවත් ශක්තිමත් වෙනවා.
සර්ප රාශියේ අයට ඒ සුබ ඵල ලබා ගන්න නම් එයාල මේ අවුරුද්දේ ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි වෙනවා. අඩන්න ඕනි ලු නේ කිරි එරෙන්න.. ඒ නිසා ඔන්න ඔයාල මේ අවුරුද්දේ හොඳට ඇඩුවොත් කිරි ගොඩක් බොන්න පුළුවන් වෙනවා.
ඔයාලට මේ අවුරුද්දේ ලැබෙන අවස්ථා නාස්ති කර ගන්නේ නැතිව ඒවායින් උපරිම ප්‍රයෝජනය ගන්න වැඩ කරන්න කියලා තමයි චීන පලාඵලකරුවෝ සර්පයන්ට කියන්නේ..

අශ්වයා
ඔයාගේ උපන් අවුරුද්ද 1954, 1966, 1978, 1990, 2002, 2014 යන ඒවායින් එකක් නම් ඔයාගේ චීන රාශිය වෙන්නේ අශ්වයා.
මේ අවුරුද්ද අශ්වයන්ටත් හොද අවුරුද්දක් විදිහට තමයි සලකන්නේ. පසුගිය අවුරුද්දේ කරන්න බැරි වුණ වැඩ එහෙමත් නත්න අතපසු වුණ වැඩ එහෙම මේ අවුරුද්දේ සාර්ථක කරන ගන්න වැඩි අවස්තාවක් තියෙනවා.
ඔයා රැකියාවක නිරත වෙන හෝ අධ්‍යාපනය ලබන කෙනෙක් නම්, අනිවාර්යයෙන් මේ අවුරුද්දේ ටිකක් වැඩියෙන් ගමන් බිමන් යන්න කියලා චීන අනාවැකිකරුවෝ කියනවා. ළඟ හෝ දුර ඕනෑම තැනකට ටිකක් ඇවිදින්න යන එක තුලින් මේ අවුරුද්ද වඩාත් සාර්ථක කර ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ.
ඒ වගේම ඔයා තනිකඩ කෙනෙක් නම් එහෙම යන ගමන් බිමන් අතරමග දී ඔයාට ආදරේ කරන්න කෙනෙක් පවා මුණ ගැහෙන්න පුළුවන් වෙනවා ලු. ඔන්න එහෙනම් අශ්ව රාශියේ හැමෝම ගමන් බිමන් යන්න ලැස්ති වෙන්න හොඳේ.

එළුවා
ඔයා 1967, 1979, 1991, 2003, 2015 යන අවුරුදු වල ඉපදුන කෙනෙක් නම් ඔයාගේ චීන රාශිය වෙන්නේ එළුවා.
ඔන්න ඔයා මේ අවුරුදු වලින් එකක නම් ඉපදිලා මේ අවුරුද්දට ගොඩක් හොඳ කාලසටහනක් සකස් කර ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ වැඩ ගොඩ ගැහිලා ඔයාට stress එක වැඩියෙන් දැනෙන්න පුළුවන් අවුරුද්දක් විදිහට තමයි මේ අවුරුද්ද හඳුන්වලා දීලා තියෙන්නේ.
ඒ වගේම තමයි ඔයා පහුගිය අවුරුදු ටිකේම එකම දේ කර කර හිටපු එළුවෙක් නම් ඔයාට පුළුවන් මේ අවුරුද්දේ ටිකක් වෙනස් දෙයකට අත ගහලා බලන්න..
ඒ වගේම තමයි ඔයාට මේ අවුරුද්දේ රැකියාවේ උසස් වීමක් වගේ බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඒ එක්කම ඔයාට මුදල් වැඩියෙන් ලැබෙන අවුරුද්දක් තමයි මේක.
ඔයා ආදරයක් කරන්න කෙනෙක් හොයන තනිකඩ එළු රාශියේ කෙනෙක් නම් ඔයාට මේ අවුරුද්දේ ඔයාගේ යාළුවො මාර්ගයෙන් ආදරේ කරන්න කෙනෙක් හොයා ගැනීමේ අවස්ථාවකුත් තියෙනවා කියලා තමයි චීන අනාවැකිකරුවන් සඳහන් කරන්නේ.

වඳුරා
ඔයා ඉපදිලා තියෙන්නේ 1956, 1968, 1980, 1992, 2004, හෝ 2016 කියන අවුරුදු වලින් එකක නම් ඔයාගේ චීන රාශිය වෙන්නේ වඳුරා.
ඔයාටත් ඔන්න මේ අවුරුද්ද එතරම්ම වාසනවත්න අවුරුද්දක් නෙමෙයි කියලා තමයි චීන අනාවැකිකරුවන් නම් කියන්නේ. ඔයා දැන් යමක් කර කර ඉන්නවා නම් ඒ දේ එහෙම ඉදිරියට කර ගෙන යන්න උත්සාහ දරන්න.
ඒ වගේම තමයි ඔයාලටත් මේ අවුරුද්දේ ටිකක් වියදම් අධික වෙන නිසා මුදල් නිසි පරිදි කළමනාකරණය කර ගන්න කටයුතු කරන්න.
ඔයා ආදරේ හොයන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ අවුරුද්දේ ඒකටත් ටිකක් උත්සාහ කරලා බලන්න.

කුකුලා
ඔයා 1957, 1969, 1981, 1993, 2005, 2017 යන අවුරුදු වල ඉපදුන කෙනකේ නම් ඔයාගේ චීන රාශිය වෙන්නේ කුකුලා.
ඔන්න ඔයාලට නම් මේ අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් කියලයි සලකන්නේ. ඉතින් ඔයාල මේ අවුරුද්දේ ඔයාගේ යාළුවො එක්ක ඉතාම යහපත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ වගේම අලුත් යාළුවොත් මේ අවුරුද්දේ දී හමු වීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම තමයි ඔයා මේ අවුරුද්දේ රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කුකුලෙක් නම් චීන අනාවැකිකරුවන් කියන්නේ ඒක ටිකක් මේ අවුරුද්දේ මැද වෙනකම් වගේ කල් දන්නා කියල. මොකද ඒ කාලේ වෙනකොට ඔයාට වඩාත් හොඳ රැකියා අවස්තාවක් හොයා ගන්න පුළුවන් වෙනවා කියලා තමයි එයාල කියන්නේ.
කුකුලන්ට මේ අවුරුද්ද ආර්ථික වශයෙන් නම් ඉතාම යහපත්, මුදල් ටිකක් වැඩියෙන් ලැබෙන වසරක් වෙනවා.

බල්ලා
1958, 1970, 1982, 1994, 2006 හෝ 2018 වසර වල ඉපදුන අයගේ චීන රාශිය වෙන්නේ බල්ලා.
එයාලටත් ඔන්න මේ වසර ටිකක් බාධා ගෙන දෙන ශාරීරික සහ මානසිකව වෙහෙසකාරී වෙන වසරක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වසරේ දී ජිවිතේ ගොඩක් වෙනස්වීම් වලට මුහුණ දෙන්න වෙනවා කියලා තමයි මේ චීන පලාඵල කියන්නේ.
ඉතින් ඔයාල ජිවිතේ මොනයම් හෝ තීරණයක් ගන්න කලින් මේ කාලේ ගොඩක් දුරට හිතන්න ඕනි. ඒ තීරණ වලින් සිදු වන හැම දෙයක්ම වගේ හොදට සලකලා බලල තීරණ ගන්න කියලා තමයි එයාලට උපදෙස් දීලා තියෙන්නේ.
ඒ වගේම ඔයාලගේ ජිවිතේ තියෙන සම්බන්ධතාවල විවිධ ප්‍රශ්න වුණත් මේ අවුරුද්දේ ඇති වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන් ඒවාට හොඳින් මුහුණ දෙන්න.
හැකි තරම් ආගමික කටයුතු කිරීම සහ බල්ලන්ට උපකාරී කිරීමෙන් මේ තියෙන අසුබ ඵල තරමක් දුරට සමනය කර ගන්න පුළුවන්.

ඌරා
ඔන්න ඔයා 1959, 1971, 1983, 1995, 2006 හෝ 2019 වසරේ ඉපදිලා තියෙන කෙනෙක් නම් ඔයාගේ චීන රාශිය වෙන්නේ ඌරා.
ඉතින් ඔයාටත් මේ අවුරුද්දේ කලින් අවුරුදු වලට වඩා ටිකක් මහන්සි වෙලා වැඩි කාලයක් වැඩ කරන්න සිද්ධ වෙනවා.
ඒ වගේම ඔයාට මේ අවුරුද්දේ ටිකක් වැඩියෙන් ආදායමක් රැස් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. කොහොමවුනත් ඔයාලත් මුදල් නිසි පරිදි කළමනාකරණය කර ගෙන වියදම් කරන්න ඕනි කියලයි අනාවැකි වල සඳහන් කරලා තියෙන්නේ.
ඒ වගේම දැනට පවතින සමබ්න්ධතාවල තවත් වර්ධනය වීමක් ඌරන්ට මේ අවුරුද්දේ දී අපේක්ෂා කරන්න පුළුවන්.
ආදරේ කරන්න කෙනෙක් හොයන කෙනෙක් නම් party වලට වගේ වැඩිපුර සහභාගී වීමෙන් ඉක්මනින්ම එහෙම කෙනා හොයා ගන්න පුළුවන් වෙයි කියලාත් කියලා තියෙනවා.

මීයා
ඔයා 1960, 1972, 1984, 1996, 2008 හෝ 2020 වන අවුරුදු වල ඉපදුන කෙනෙක් නම් ඔයාගේ චීන රාශිය වෙන්නේ මියා.
ඔයාලටත් මේ අවුරුද්ද ටිකක් අභියෝග වලින් පිරුණු අවුරුද්දක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ අභියෝග වල දී ඔයාට වැඩිපුර පිරිසකගෙන් උදව් උපකාරී ලැබීමට නියමිත වෙනවා. ඒ නිසා ඔයාට උදව් කරන්න බලා ගෙන ඉන්න අය ගැන විමසිල්ලෙන් ඉන්න කියලා මේ අවුරුද්දේ ඔයාට උපදෙස් දීලා තියෙනවා.
ඒ වගේම රැකියා ස්ථානයේ දී කීර්තියට පත් වෙන්න සහ ප්‍රශංසා ලබා ගන්නත් පුළුවන් අවුරුද්දක් තමයි මේක.
මීයන්ට මේ අවුරුද්දේ දී මුදල් ඉතිරි කර ගන්නත් පුළුවන් වෙන නිසා ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මේ අවුරුද්ද හොඳ කාලයක් වෙනවා.
කොහොම වුණත් කිසිම දෙයකට ඉක්මන් වෙලා කටයුතු කරන්න එපා කියලා තමයි ඔයාලට චීන අනාවැකිකරුවන් කියන්නේ.

ගවයා
ඔයා 1961, 1973, 1985, 1997, 2009 හෝ 2001 අවුරද්දක නම් ඉපදිලා තියෙන්නේ ඔයාගේ චීන රාශිය වෙන්නේ ගවයා.
ඔයාලත් මේ අවුරුද්ද ටිකක් කල්පනාකාරීව ගත කරන්න ඕනි. ඔයාලගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු කරන්න කියලා තමයි චීන අනාවැකිකරුවන් ඔයාට කියන්නේ.
ඒ වගේම තමයි අවදානම් සහිත ක්‍රියාකාරකම්වලින් ටිකක් ඈත් වෙලා ඉන්න කියලා ඔයාලට උපදෙස් දීලා තියෙනවා.
ඔයා මේ අවුරුද්දේ ටිකක් වැඩියෙන් නිහතමානි ලෙස කටයුතු කරන්න ඕනි, මොකද ඔයාගේ ආදර සම්බන්ධතා සහ අනෙකුත් සම්බන්ධතා වැරදි වැටහීම් හේතුවෙන් පලුදු වීමේ විශාල ඉඩකඩක් තියෙනවා.
ඒ නිසා ඔයා සන්නිවේදනය කරන ආකාරය සම්බන්ධයෙන් ගොඩක් සැලකිල්ලක් දක්වන්න ඕනි.
උණුසුම් වර්ණවල ඒ කියන්නේ රතු වගේ ඇඳුම් ටිකක් වැඩිපුර අදින එක ඔයාට සුබ ඵල ගෙන දෙන්න පුළුවන්.

කොටියා
1962, 1974, 1986, 1998, 2010 හෝ 2022 කියන අවුරුදු වල නම් ඔයාගේ උපන්දිනය තියෙන්නේ ඔයාගේ චීන රාශිය තමයි කොටියා කියන්නේ.
චීන පිළිගැනීමට අනුව කොටියා සහ මකරා කියන්නේ එකෙනෙකට වෛර කරන එකිනෙකා හා සටන් කරන සත්තු දෙන්නෙක්. ඒ නිසාම මකර අවුරුද්ද කොටියන්ට නම් එතරම් සුබ එකක් නෙමෙයි කියලා තමයි කියන්නේ.
මේ අවුරුද්දේ ඔයාගේ තියෙන සම්බන්ධතා වලට ගොඩක් බාධා එන්න පුළුවන් නිසා පුළුවන් තරම් එකිනෙකා සමඟ සුහදව කටයුතු කරන්න උත්සාහ කරන්න.
ඒ වගේම මේ අවුරුද්දේ මුදල් පැත්තෙන් ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න වෙනවා.
කොහොම වුණත් මේ අවුරුද්දේ ටිකක් ඔයාට කැපී පේන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
ඔයා වසරේ මුල් කාලයේ ඉපදිලා තියෙන කෙනෙක් නම් ඔයාට වසර මැද දී වගේ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වසරේ අග ඉපදුන කෙනෙක්ට නම් වසරේ මුල දී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

හාවා
ඔයා 1951, 1963, 1975, 1987, 1999, 2011 හෝ 2023 යන අවුරුදු වල නම් ඉපදිලා තියෙන්නේ ඔයාගේ චීන රාශිය තමයි හාවා.
ඔන්න මේ අවුරුද්ද නම් ඔයාලට හොඳ යහපත් ප්‍රතිඵල ගෙන දෙන අවුරුද්දක් වෙනවා. පසුගිය වසර ඒ කියන්නේ 2023 හාවාගේ අවුරුද්දක් නිසා ඒ වසරේ ටිකක් අඩුවෙන් වාසනාව ඔයාව හොයා ගෙන ආවත් මේ වසරේ ඔයාට ඒකෙ කැපී පෙනෙන වෙනසක් දකින්න පුළුවන් වෙනවා.
මේ අවුරුද්ද ඔයාගේ රැකියාවට අවශ්‍ය විවිධ අලුත් දේවල් ඉගෙන ගන්න හොඳ වසරක් කියලා හදුන්වන්න පුළුවන්.
ඔයා මහන්සි වෙලා වැඩ කලොත් ඒවායින් උපරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා ඔයාලට.
ඒ වගේම ඔයාල විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් නම් ඉන්නේ මේ වසර ඒකට හොඳම වසරක් වෙනවා. ඔයාලගේ ප්‍රේම සම්බන්ධය වුණත් විවාහය දක්වා ගෙනියන්න මේක හොඳ වසරක්.

ඉතින් ඔන්න ඔහොමයි රාශි 12ට අදාළ පලාඵල. ඔයාගේ රාශිය සහ ඒකට තියෙන පලාඵල මොකක් වුණත් ඔයා මහන්සි වෙලා වැඩ කලොත් ඔයාට මේ අවුරුද්ද හොද අවුරුද්දක් කර ගැනීමේ හැකියාව තියෙනවා.
එහෙනම් ඔයාගේ යාලුවොත් එක්කත් මේක share කර ගන්න අමතක කරන්න එපා.

