සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් ඩොලර් මිලියන 300ක ආදායමක්

සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එසේම කුමන ප්‍රශ්න පැමිණිය ද රටේ පවතින සම්පත්වලින් හැකි තරම් ප්‍රයෝජන ලබා ගෙන රට ගොඩ නැඟීමට කටයුතු කළ යුතු බව ඔහු මෙහි දී පැවසුවා.

පසුගිය වසර අවසන් වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ඩොලර් මිලියන 480ක පමණ මුදලක් උපයා ගැනීමට රජය සමත් වී ඇති බවත් ඔහු මෙහි දී අනාවරණය කළා.