ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ යනු ඇත.

මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතය.

එසේම මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කාණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වන අතර ඉදිරියේදී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000ක දීමනාවක් ද ලබා දීමට සැලසුම් කර තිබෙනවා.