බස් රථවල සිදුවන කාන්තා හා ළමා හිරිහැර අවම කිරීමේ වැඩසටහනක්

පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවන්ට හා ළමයින්ට ලිංගික හිරිහැර සිදු කරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් පොලීසිය විසින් අද (07) ආරම්භ කරනු ලැබුවා.

රහසිගත කැමරා සවිකරගත් සිවිල් පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 234ක් මේ සඳහා යොදා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙහෙයුම සිදු කෙරෙන්නේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළ, බම්බලපිටිය, වැල්ලවත්ත සහ තුම්මුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක දී අද ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා දියත් කිරීමට නියමිතවයි.

මෙමඟින් හඳුනාගන්නා වැරදිකරුවන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව ලිංගික අතවර කිරීමේ වරදට අදාළ දඬුවම් නියම කිරීම සහ මානසික රෝගවලින් පෙළෙන්නන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත යොමුකිරීම සිදු කෙරෙනු ඇත.

එමෙන්ම කාන්තාවන්ට හා ළමයින්ට සිදු වන ලිංගික හිරිහැර හා අතවර පිළිබඳ 109 ගාස්තු රහිත දුරකථන අංකය හරහා ද ජනතාවට තොරතුරු ලබාදිය හැකිය.