ටෙලිකොම්හි සතු කොටස් ගන්න ඉන්දියාවෙන් සහ චීනයෙන් සමාගම් දෙකක්

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක මෙලෙස සුදුසුකම් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් ව සිටියා.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදි ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරගකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන තිබෙනවා බව සඳහන්.