ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදවා ගැනේ

අරාබි මුහුදේදී අතුරදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් බව සීෂෙල්ස් නාවික හමුදාව විසින් ශ්‍රි ලංකා රජය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

“ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා ධීවරයන් 06 දෙනෙකු සමගින් දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල මුහුදු ගමන අරඹා තිබිණ. එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වු අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වනු ලැබුවා.

අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට කරන ලද දැනුම් දීමකට අනුවයි ෂීසෙල්ස් වෙරළාරක්ෂක බලකාය “ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත්තේ.

එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ ධීවර යාත්‍රාව සොයා ගැනීමට ඔවුහු සමත් වුණා.

“ලෝරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රවේ සිටි ධීවරයන් 06 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී ඇති අතර මෙම මෙහෙයුමේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ මගපෙන්වීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ අධීක්ෂණය යටතේ ධීවර යාත්‍රාව මෙරටට ගෙන ඒමේ මෙහෙයුම් දියත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.