විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතයට හොඳ පන්දු රකින්නන් එක් වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී හොඳ පන්දු රකින්නන් කණ්ඩායමට එක්කර ගැනීමට තමන් කටයුතු කළ බව නව විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසනවා.

හෙට (14) ආරම්භවීමට නියමිත 20-20 තරගාවලියට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි වනිඳු මේ බව සඳහන් කළේ.

එසේම මෙවර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සංචිතයට එක්වී සිටීම නිසා නවක ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලබාගත හැකි වන බවයි පෙන්වා දෙන්නේ.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරඟය හෙට රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

හෙට තරගය වෙනුවෙන් පැතුම් නිස්සංක ද සූදානමින් සිටින බවයි වනිඳු හසරංග මෙහි දී සඳහන් කළේ.