දළු බිලෙන් VAT අය කිරීමක් නැහැ

කුඩා තේ වතු හිමියන්ගේ දළු බිලෙන් වැට් අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අදාල ගැටලුව සම්බන්ධයෙන් තමා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔහු එම පොරොන්දුව ලබාදුන් බවයි කථානායකවරයා පැවසුවේ.

පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කරනු ලැබුවා.

VAT හේතුවෙන් සෑම දළු කිලෝ එකකින්ම රුපියල් හතළිහක් පමණ අඩු වනු ඇතැයි කී වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා වැට් අය කරන්නේ වෙන්දේසිකරුවාගෙන්ද ,තේ කම්හල් හිමියාගෙන්ද එසේ නැතිනම් අමු දළු සපයන්නන්ගෙන්ද යන ප්‍රශ්නය තිබෙන බවද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එසේම මේ ආකාරයට වැට් දළු සපයන්නගෙන් අය කළහොත් ඔවුන්ට විශාල අසීරුතා විඳින්නට සිදුවෙන බව ද, මේ ප්‍රශ්නය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ද වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.