තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.