ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ Ishikawa ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නෝටෝ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම උස් බිම් වෙත ගමන් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මීටර් 5ක් තරම් උස රළ නෝටෝ වෙත ළඟා විය හැකි බවයි ජපාන කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.

එසේම Niigata සහ Toyama ප්‍රාන්ත සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම ප්‍රදේශ වලට රළ මීටර් 3 දක්වා ළඟා විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ජපානයේ විශාලතම න්‍යෂ්ටික බල ක්‍රියාකරු වන කන්සායි ඉලෙක්ට්‍රික් පැවසුවේ භුමි කම්පාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරවල කිසිදු අසාමාන්‍යතාවයක් නොමැති බවයි.