ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර යුද්ධය නිමා කරන්න – පාප් වහන්සේ

ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් කරන ලෙසත්, හමාස් සංවිධානය විසින් රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කරන ලෙසත් පාප් වහන්සේ දෙපාර්ශවයෙන්ම විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

පාප් වහන්සේ විසින් නිකුත් කරන ලද විශේෂ නත්තල් දින පණිවුඩයේ උන් වහන්සේ අදාළ පාර්ශව වෙත පවසා ඇත්තේ ගාසා තීරයේ මිනිසුන් වෙනුවෙන් වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දීමට ද කටයුතු කරන ලෙසයි.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතරතුර දී උන් වහන්සේ යුද්ධය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරනු ලැබුවා.

එසේම වසර දෙකකට අධික කාලයක් තිස්සේ පවතින රුසියානු යුක්රේන ගැටුම ද අවසන් කරන මෙන් උන් වහන්සේ මෙහි දී ඉල්ලීමක් සිදු කළා.

උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ ලෝකයේ රටවල් සියල්ල සිය රාජතාන්ත්‍රික අර්බුධ සඳහා සාමකාමී විසඳුම් සෙවීමට උත්සාහ කළ යුතු බවයි.