පොහොර සමාගම් දෙකක් ඒකාබද්ධ කරයි

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම පොහොර සමාගම් දෙක එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිත බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එකම විෂයයක් යටතේ බෙදී පවතින ආයතන ඒකාබද්ධ කිරීම මගින් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීම සඳහාත් මෙම ආයතන ඒකාබද්ධ කිරීම මගින් අපේක්ෂිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කර සැකසු නව සමාගමේ සභාපති ලෙස ආචාර්ය ජගත් පෙරේරා මහතා කටයුතු කරන අතර ඉදිරියේ දී එය State Fertilizer Corporation යන නාමයෙන් හඳුන්වනු ඇත.