අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 9,262 දෙනෙකු පීඩාවට

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ වැඩිම බලපෑම එල්ල වී ඇති උතුරු පළාතේ පවුල් 2,898 කට අයත් පුද්ගලයින් 9,262 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 4,538ක් අවතැන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ මුලතිව්, මැරටියන්පත්තු, පුදුකුඩිඉරිප්පු, මාන්තෙයි, තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල පවුල් 790කට අයත් පුද්ගලයින් 2,710 දෙනෙකු අවතැන්ව ඇති බවයි.

මේ අතර, ප්‍රධාන වාරිමාර්ග ජලාශවල ජල මට්ටම් මේ වන විට 80% ඉක්මවා තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව මහවිලච්චිය, අභය, නුවර, රාජාංගණය, මහකනදරා, කලා, තිසා, පදවි ඇතුලු වැව් සහ ජලාශ 45ක් මේ වන විට වාන් දමමින් පවතිනවා.

එසේම නිල්වලා ගංගාවේ සහ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ඒ අවට පහත් බිම්වල ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව දිස්ත්‍රික් ආපදා කළමනාරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අධික වැසි තත්ත්වයත් සමඟ ඇති වූ ගැලීම් හේතුවෙන් සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් ද කළා.