වී වගාවට කෘමින් තුන් වර්ගයකින් හානි

මේ දිනවල කෘමි හානි තුනක් වී වගාව ආශ්‍රිතව පැතිර යන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා .

White Back Plant Hopper හෙවත් සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා (Grey Plant Hopper) සහ කොළ හකුළුවන දළඹුවා ( Leaf Curl worm) යන කෘමි විශේෂ තුන මගින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවේ හෙක්ටයාර් 22,000ක් පමණ බලපෑමට ලක් ව ඇති බවයි දෙපාර්තමේතුව සඳහන් කරන්නේ.

කුඹුරුවල මෙම කෘමින් සිටී නම් වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙස ගොවීන්ට දැනුම් දී තිබෙනවා.

එසේම එහි දී කෘෂිකර්ම උපදේශකවරුන් විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළයුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය අවධාරණය කරන්නේ.

මෙම කෘමි හානි සියල්ලම වලක්වා ගත හැකි අතර මේ වනවිට සියලු ප්‍රදේශවල සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කර ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

එමෙන්ම කෘෂිකර්ම විශේෂ කණ්ඩායම් ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා යොදවා අතැයි ද පරසුරාමන් මහත්මිය වැඩිදුරටත් පවසනවා.