පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමේ තීරණයක්

පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ රටේ අවශ්‍ය තරම් සහල් තොග තිබිය දී ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් විසින් කෘත්‍රිමව සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ නැංවීම වැලැක්වීම එහි අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට වුවත් ඔවුන්ට ද පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ වැඩි මුදලට අලෙවි කරන පුද්ගලයින් හා ආයතන පමණක් වනවා.

දැනට ඇති පනතට අනුව සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට බලතල ලැබී නැහැ .

මේ හේතුවෙන් පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර දැනට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාව සඳහා සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වී තිබෙනවා.

මෙම පනත සංශෝධනය සඳහා ලබන මාසය ඇතුලත පාරිභෝගික කටයුතු භාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.