රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා සිට

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේ පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ය.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කරනු ලැබුවා.

පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

එසේම බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.