GTA 6 පූර්ව ප්‍රචාරක පටය දෙසැම්බර් 05වන දා එළි දැක්වෙයි

Grand Theft Auto 6 (GTA 6) සඳහා වන පූර්ව ප්‍රචාරක පටය එළඹෙන දෙසැම්බර් 5 වන දා එළි දැක්වීමට නියමිත බව Rockstar Games නිවේදනය කර තිබෙනවා.

පිටපත් මිලියන 185කට අධික සංඛ්‍යාවක් අලෙවි වෙමින්, වැඩිම පිටපත් සංඛ්‍යාවක අලෙවි වූ දෙවැනි පරිගණක ක්‍රීඩාව ලෙස සැලකෙන GTA 5 එළි දක්වා අවුරුදු 10කට පමණ පසුවයි එහි ඊළඟ අදියරය ලෙස GTA 6 එළිදැක්වීමට සූදානම් වන්නේ.

GTA 6 සඳහා ක්‍රීඩා ලෝලීන් අතර පවතින උනන්දුව කෙසේ ද යත් මෙම පූර්ව ප්‍රචාරක පටය සම්බන්ධයෙන් දක්වමින් Rockstar Games විසින් X හි තැබූ සටහන මේ වන විට නැරඹුම් මිලියන 118කට අධික ප්‍රමාණයක් ලබා ගෙන තිබීමෙන්ම දැක ගත හැකි වනවා.

මේ අතර GTA 3, Vice City, and San Andreas යන ක්‍රීඩා ලබන දෙසැම්බර් 14 වන දා සිට Netflix පරිශීලකයන්ට සිය ජංගම දුරකථන හරහා ක්‍රීඩා කිරීමට හැකි බව ද Rockstar Games සඳහන් කර තිබෙනවා.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී GTA 6 සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කරනු ලැබුවා.