පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
ඒ සඳහා නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත්,
සතුරා සිටින්නේ දොරටුව අභියස බැවින් කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
ඊයේ ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 සමුළුව අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ.
හෙතෙම සඳහන් කළේ පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ.

