සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී ඊයේ ආරම්භ කරමින් ඔහු විසින් මේ බව සඳහන් කරනු ලැබුවා.

එසේම ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළ අතර ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් ද අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.