සටන් විරාමය අතරතුර පලස්තීනුවන් 117කට නිදහස

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර සිදු වන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවේ තවත් එක් පියවරක් ලෙස ඊශ්‍රායලය විසින් තවත් පලස්තීනුවන් 39 දෙනෙක් නිදහස් කර තිබෙනවා.

මේ සමඟම සරණ විරාමය අතරතුර දී නිදහස් කරන ලද මුළු පලස්තීනුවන් ගණන 117 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙක් ද, විදේශ ජාතිකයන් 18 දෙනෙක් ද නිදහස් කර තිබෙනවා.

දැනට එකඟ වී ඇති සටන් විරාමය අදින් එනම් සඳුදායින් අවසන් වන අතර එය අවශ්‍ය නම් දෙපාර්ශවයේ එකඟතා මත තවදුරටත් දීර්ඝ කර ගත හැකි බවයි සඳහන් වෙන්නේ.

මේ වන විට පසුගිය ඔක්තෝම්බර් 07 වන දා ආරම්භ වුණු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ළමුන් විශාල ප්‍රමාණයක් ද ඇතුළත්ව පුද්ගලයන් 15,000ක් පමණ මිය ගොස් තිබෙනවා.