වැසී ගිය රෝහල්වල සේවා යළිත් ආරම්භ කරන්න – සෞඛ්‍ය ඇමති

දිවයින පුරා වසා දමා තිබෙන සහ වැසීයාමට ආසන්න තත්ත්වයේ පවතින රෝහල්වල සේවා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එහි දී අනාවරණ වී තිබෙන්නේ දැනට රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත් තවත් රෝහල් 100 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවධානමට ලක්ව ඇති බවත් ය.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින්ද ඇතුළත්ව විශේෂ කමිටුවක් පත්කර අදාළ රෝහල් ක්‍රියාකාරි තත්ත්වයට ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබෙනවා.