සනත් නිශාන්තට සති දෙකක පාර්ලිමේන්තු තහනමක්

පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පාර්ලිමේන්තුව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි සති 02ක කාලය සඳහා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සේවය අත්හිටවෙනු ඇත.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණා.

එහිදී වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂනායකවරයා ඉදිරිපිට රැදී සිටිමින් ඔහුට ආරක්ෂාව සැලසු අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වන අයුරු ද දක්නට ලැබුණා.

එම විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගත් බවත් කතානායකවරයා දැනුම් දී තිබෙනවා.