චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය සහ ජනපති අතර හමුවක්

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහි දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණු අතර ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය ද හෙතෙම පිරිනැමීය.

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළා.

එක් තීරයක් – එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා

විශේෂ නියෝජිතවරිය පවසා ඇත්තේ චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇති බවයි.

එසේම චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව මෙහිදී යළි තහවුරු කළ ඇය දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කිරීමට කැපවන බවද අවධාරණය කළාය.