ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හවුති කැරලිකරුවන් අතට

ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ දී සිය භාරයට ගෙන තිබෙනවා.

කැරලිකරුවන් විසින් එම නෞකාව යේමනයේ පිහිටි වරායකට රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ අදාළ නෞකාව ඊශ්‍රායලයට අයත් එකක් නොවන බවත් එහි කාර්ය මණ්ඩලය අතර ඊශ්‍රායල ජාතිකයන් කිසිවෙක් නොසිටින බවත්ය.

එසේම ඔහු මෙය ඉරාන ත්‍රස්තවාදයේ තවත් ක්‍රියාවක් බවට චෝදනා කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමාස් සංවිධානයට සහය පළ කිරීම සඳහා ඊශ්‍රායල නෞකාවක් පහර ගන්නා බවට මින් පෙර හවුති කැරලිකරුවන් විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබුනා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.