සීනි සහ සම්බා හාල් හිඟයක්

සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙනවා.

මේ හේතුවෙන් සීනි සහ සහල් මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් මහත් දුෂ්කරතාවට පත් වී තිබෙනවා.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමත් සමඟ බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර, එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු වුණා.

පවතින සීනි හිඟය සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳුන් ගෙන් කළ විමසීමේ දී ඔවුන් සඳහන් කළේ, අලෙවිය සඳහා සීනි තොග නොලැබෙන බවයි.

මේ අතර පනවා ඇති පාලන මිලෙන් බැහැර ව සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් අඛණ්ඩ ව දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා.