තේ අස්වැන්න ඉහළ දැමීමට අධි ඝනත්ව වගා ක්‍රමය යොදා ගැනීමේ සූදානමක්

මෙරට තේ වගාවේ අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීමට අධි ඝනත්ව වගා ක්‍රමය සහ නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකි බවත්, සාම්ප්‍රධායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දළු කිලෝ ග්‍රෑම් 300ක් වුවද, මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේම තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි බැවින්, මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය නොවන බවත්,එමනිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට වගා කරුවන්ට හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර ඇති අතර එම වගා කරුවන්ට අක්කරයකට රුපියල් ලක්ෂ 10ක් බැගින් මුල්‍යාධාර ද ලබා දී තිබෙනවා.