පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සියලු රැස්වීම් නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර තිබෙනවා.
එහි සභාපතිවරයා සම්බන්ධ ගැටලු විසඳන තුරු කෝප් කමිටුව නොකැඳවන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කෝප් කමිටුව අද පස්වරු 01.00ට රැස් වුණු අතර එහි සාමාජිකයන් දෙදෙනෙක් වන එස්.එම්. මරික්කාර් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ සිකුරාදා යාඥා මෙහෙය නිසා මෙම රැස්වීමට සහභාගී වීමට නොහැකි වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂනායක සජිත ප්‍රේමදාස කියා සිටියේ කෝප් කමිටුවේ සභාපති විසින් හිතාමතාම රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද කෝප් කමිටුව දේශපාලනික කර නොගන්නා ලෙස බලකරමින් පවතින ගැටලුවලට නිසි විසඳුමක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
මෙයට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා ප්‍රකාශ කළේ නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ සියලුම රැස්වීම් අවලංගු කිරීමට තීරණය කළ බවයි.

