නේපාලයත් TikTok තහනම් කරයි

සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇති කරන බව පෙන්වා දෙමින් චීනයේ TikTok යෙදවුම තහනම් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පරිශීලකයින් බිලියනයක් පමණ සිටින TikTok යෙදවුම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම මේ වන විට තහනම් කර තිබෙනවා.

සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ෂර්මා පවසා ඇත්තේ TikTok හරහා සමාජයට වෛරීය දේ මුදා හැරෙන බවයි.

නේපාල කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ගගන් තාපා මෙම තහනම සම්බන්ධයෙන් ප්‍රශ්න නඟමින් සඳහන් කර ඇත්තේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ උත්සාහයක් බවයි.