බඩඉරිඟු සඳහා නොමිලයේ පොහොර

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර, TSP (මඩ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එසේම බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමත් සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ගොවීන් 23,000ක් එහි වගා කටයුතු සිදු කරනවා.

මෙම වැඩපිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.