කලාකරුවන් 120කට සාම විනිසුරු පදවිය

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයකට අනුව ශ්‍රී ලාංකේය කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම කුසලතා සහ නිර්මාණශීලීත්වය දායක වූ කලාකරුවන් 120 දෙනෙකුට වැඩසටහනේ පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමිණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණා.

දිවයින්ගේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි සිනමාව, වේදිකා, රූපවාහිනී, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන් වෙත මෙලෙස සාම විනිසුරු පදවිය පිරිනැමීම සිදු කරනු ලැබුවා.