කිමිදුම්කරුවන්ට සහ මුහුදේ ස්නානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලින් හමුවන විෂ සහිත ගල්පර මත්ස්‍යයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මුහුදේ ස්නානය කිරීමට සහ කිමිදීමට යන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ගල්පර මසුන්ගේ තුවාල වීම් වලට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් සංඛ්‍යාවේ යම් වැඩි වීමක් පසුගිය දින කිහිපයේ දී වාර්තා වූ බවයි පරපෝෂිත විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජානක රූබන් මහතා සඳහන් කළේ.

ඔහු පෙන්වා දෙන්නේ ගොන්මහ-ගල් මාළු ලෙස හඳුනා ගෙන ඇති මෙම මත්ස්‍ය විශේෂය ගල්පර තට්ටුවල වැලි සහිත හෝ සුන්බුන් සහිත ප්‍රදේශවල, නොගැඹුරු කලපුවල සහ අඩු වඩදිය බාදිය ඇති විට කුඩා තටාකවල හමුවන බවයි.

මෙම මසුන්ගේ මන්දගාමී චලනය හේතුවෙන් ඔවුන් හඳුනා ගැනීම අපහසු වන අතර සමහර විට මොවුන්ගේ ශරීර ඇල්ගී වලින් වැසී තිබෙනවා.

එසේම මොවුන්ගේ ශරීරයේ ඉහළ කොටසේ විෂ කටු ඇනීම හේතුවෙන් විවිධ ආසාත්මිකතා ඇති වනවා.

මෙම කාලයේ දී මෙම ගල් මාළු විශේෂය අභිජනන කටයුතු සඳහා වෙරළට ආසන්නව පැමිණෙන බැවින් මුහුදේ දිය නෑමේදී සෙරෙප්පු පැළඳ හෝ වෙනත් සුදුසු ආකාරයට ප්‍රවේශම් වන ලෙස වෛද්‍යවරයා අවධාරණය කරනවා.