ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ගැසට් කරයි

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටු වීම සදහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙහි අරමුණ ලෙසයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මේ සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් වන අතර අමතව මුදල් අමාත්‍යවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් හතර දෙනෙකු පත් කිරීමට හැක.

මෙම අධිකාරිය පිහිටු වීමෙන් පසු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයෙකුට මුදල් ණයට දීමේ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වන අතර මෙම පනත සම්මත කිරීමෙන් පසු එසේ බලපත්‍ර නොමැති පුද්ගලයන් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර වරදකරු වුවහොත් රුපියල් මිලියන 5 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 5 ක් නොඉක්මවන කාලයක් සදහා සිර දඩුවමකටද යටත් කළ හැකියි.