සම්මත වූ පනත් දෙකකට කථානායකගේ අත්සන

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් දෙකක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය අත්සන යොදා තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥවරුන්ට ගෞරව දැක්වීමේ පනත් කෙටුම්පත මේ අතරින් එකක් වනවා.

එය 2023 ඔක්තෝබර් 18 වන දින පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව සම්මත වුණා.

අනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස ඉදිරිපත් කරන ලද බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්‍ෂු විද්‍යාලය ස්ථාපිත කිරීමට අදාළ කෙටුම්පත වනවා.

එය 2023 ඔක්තෝබර් 17 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවා.

ඒ අනුව, 2023 අංක 25 දරන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්‍ෂු විද්‍යාල පනත සහ 2023 අංක 26 දරන ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥවරුන්ට ගෞරව ප්‍රදානය කිරීමේ පනත නොවැම්බර් පළමුවැනි සිට බලාත්මක වනවා.